FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

32 වැනි ඉල්මහ විරු සමරුව වෙනුවෙන් ඊයේ ගාල්ල, බද්දේගම පැවති සමරු වැඩසටහනේ කුමාර්ගුණරත්නම් සහෝදරයා කළ දේශනය

මේ රට මුහුණ දී ඇති අර්බුද විසඳීමට අපේ වැඩපිළිවෙළ වටා ඒ්කරාශි වන ලෙස සියලු දෙනාට ආරාධනා කරනවා! – කුමාර් ගුණරත්නම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, “ඔබ මිය ගොස් නැත” 32 වැනි ඉල් විරු සැමරුම වෙනුවෙන් ගාල්ල, බද්දේගමදී සංවිධානය කර තිබුණු  ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් විසින් සිදුකළ සමරු දේශනයේ සංක්ෂිප්ත සටහනක් පහත පළ වේ.

“වසර 32කට පෙර ජීවිත පූජා කළ සහෝදරියන් හා සහෝදරවරුන් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි සිහිපත් කරන්නෙ වාර්ෂික වතාවතක් ලෙස නොවෙයි. අද අප මුහුණ දෙමින් සිටින දේපාලන අභියෝග ජය ගනිමින් සමාජවාදය අරමුනු කරගත් අපේ දේශපාලන ව්‍යාපාරයේ ගමන්මග සකස් කරගැනීමට එදා ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලන අරගලය තෝරාගත් ඉල්මහ විරුවන්ගේ ආදර්ශය ලබා ගැනීම අපගේ අරමුණයි.
මේ වනවිට අප මුහුණ දෙමින් තිබෙන සමාජ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට එදා 87-89 සමයේ ලාංකීය සමාජයේ අර්බුදයට සර්ව සම නොවුණත් යම් යම් සමාන ලක්ෂණ තිබෙනවා.
1977 එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් නවලිබරල් ධනවාදී ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක කරන්න පටන් ගැනීමත් සමග අපේ සමාජය එ් වනවිටත් මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයේ තවත් ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු වුණා.
එදයින් පටන් ගත් ජනතා දේපළ විකිණීමේ ක්‍රියාවලිය මේ අදත් පවතින්නෙ. විදේශ වෙළඳාමට තිබුණු සීමා මායිම්, දේශීය ආර්ථිකය ආරක්ෂා කරණ ප්‍රතිපත්ති වෙනස් කළා. රුපියල අවප්‍රමාණ වෙන්න පටන් ගත්තා. මහබැංකුව විසින් සමහර රෙගුලාසි වෙනස් කිරීම පටන් ගත්තා.
ඒ නිසා රටේ ඇති නැති පරතරය වැඩි වුණා. සමාජ ආරක්ෂණය දුර්වල වුණා. ප්‍රවාහන අංශය පෞද්ගලිකකරණය පටන් ගත්තා. මේ වකවානුවේ තමයි සෞඛ්‍ය හා අධ්‍යාපනය පෞද්ගලිකකරණය පටන් ගත්තා. විධායක ජනාධිපතිධුරය 1978 ඇති කළා. මේ වනවිට ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ජනතාව දක්වන විරෝධයට මුහුණ දෙන්න, එවා මර්දනය කරන්න එ විධායක බලය ඔහුට අවශ්‍ය වුණා. මේ වන විට ජේ.ආර්.ජයවර්ධන බටහිර රාජ්‍යයන්ට පක්ෂපාති පිළිවෙතක් ගෙන ගියා. එක්සත් ජනපදයට සමීප පාලකයකුව සිටි නිසා ඔහුව නම් කළේ යැංකි ඩිකී කියලා.
මේ වනවිට උතුරේ තමිල් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් සංවර්ධන සභා ඡන්දය කොල්ල කෑවා. යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. අත්තනෝමතික පාලනයක් පවත්වා ගෙන ගියා. ඇයි අපි මේ ඉතිහාසය මතක් කරන්නෙ? අද වන විට රාජපක්ෂ පාලනය විසින් මේ රටේ අත්තනෝමතික පාලනයක් පවත්වා ගෙන යමින් ආර්ථික අර්බුදය මැද ජනතා විරෝධයන් මර්දනය කරමින් පවතිනවා. ඒක 1977න් පසු ඇති වූ ඇතැම් තත්වයන්ට සමාන නිසා අපි එ තත්වය නැවත මතකයට ගත යුතුයි.
මේ තත්වයට වැඩ කරන ජනතාවට, කම්කරු ජනයාට, රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශයට මේ තත්වය දරා ගන්න බැරි වුණා. වෘත්තිය ක්‍රයාමාර්ග ආරම්භ වුණා. 1980 ජූලි වර්ජනයට මොකක්ද දුන්න උත්තරය? ඒක නින්දිත ආකාරයට මර්දනය කළා. නීථ්‍යනුකූල මර්දන ක්‍රියාමර්ග පමණක් නොවෙයි නීති විරෝධි ලෙස දේශපාලන පක්ෂ මර්දනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කරමින් ජයවර්ධන පාලනය කටයුතු කළා.
අද ගුරුවරු වැඩ වර්ජනය කරද්දි මර්දනය ක්‍රියාත්මක කරනවා. පසුගියදා යම් ජයග්‍රහණයක් ලබා තිබෙනවා වුණත් රාජ්‍ය මර්දනය අවසන් වෙලා නෑ. මේ තත්වය ජේ ආර්. ජයවර්ධනගෙ අත්තනෝමතිකභාවය සිහිපත් කරනවා. 1982 ජනමත විචාරනය ගැන මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කලේ අවසන් පතිඵලය වෙනස් කිරීමට බලපාන තරමේ මැතිවරණ වංචා සිදුව ඇති බව. ඒවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්වයක් පරාජය කරන්න ජනතාව පෙළ ගැසීම සඳහා තමයි 1987 – 89 අරගලයෙදි මේ රටේ දහස් ගණනක් සහෝදර සහෝදරියන් දේශපාලන අරගලයක නිරත වුණේ. ඔවුන් විසින් වෙහෙස නොබලා මර්දනය නොතකා කළ අරගලයක් තුළ එදා පාලකයන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්න ජනතාවගේ සහාය ලැබුණා. පාලකයන්ගෙ නියෝග ජනතාවට තව තවත් පීඩා කාරී තත්වයක් ඇති කළා. මේ නිසා අවසානයේ ජනතා අරගලය දැවැන්ත මිලිටරි බලයකින්, සන්නද්ධ හමුදා සහාය අරගෙන, ඒ් අතර අතරු හමුදා කණ්ඩායම්වලින් ඝාතන, වද කඳවුරු සිදුකළ තත්වයක් යටතේ අරගලය පරාජයට පත් වුණා. නමුත් ඔවුන් උත්සාහ කළේ මේ රටේ පාලක පන්තිය ජනතාව මත පටවන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය අවසන් කරලා, සූරාකෑමෙන්, මර්දනයෙන් ගෙන යන ධනපති ක්‍රමය අහෝසි කරලා සමාජවාදී ක්‍රමයක් ඇති කරන්න. අපි මේ අතීතය නැවත සිහිපත් කළ යුත්තේ අප අද මුහුණ දෙමින් සිටින සමාජ ආරර්තික අර්බුදයේ ප්‍රතිඵල ඒදා වගේම අදත් ජනතාවට තවදුරටත් දරන්න බැරි මට්ටමකට ඇවිත් තිබෙනවා. ජනතාව විවිධ මට්ටමින් විවිධ ආකාරවලින් පාලකයන්ට අභියෝග කරමින් ඉන්නෙ. මේ අර්බුදය වසංගතය නිසා ඇති වූ බව පාලකයන් කියනවා. නමුත් අපි දන්නවා, 2020 වනවිට ලොකු ආර්ථික අර්බුදයකට ලෑස්ති වෙන්න කියලා ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළා. සමහරු කියනවා වසංගතය නිසා තමයි මේ ආර්ථිකය ඇද වැටෙන්නෙ කියලා. නමුත් අපි කියනවා වසංගතය නිසා අර්බුදය උත්සන්න වුණු බව ඇත්ත. නමුත් මේ ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදයක්. මේ වන විට රටේ ජනතාවනේ 98%ට ආාදායම් මාර්ග බිඳවැටුණු තත්වයකට මුහුණ දෙමින් තිබෙනවා.
අයවැයෙන් සුරංගනා කතා කිව්වට මේ අර්බුදයෙන් ජනතාව මුදවන්න සැලසුම් මේ අයට නෑ. එ නිසා 1977න් පටන් ගෙන ආර්ථික අර්බුදයක් කරා ගිය ගමනේ ප්‍රතිරාවයක් දක්වමින් තිබෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේ චීනයට පක්ෂපාති පාලනයක් ගෙන යමින් සිටියා. අපි අමෙරිකාවට නැමෙන්නෙ නෑ, කියුවත් බලපෑම් හමුවේ සිදුව ඇති දේ අපි දැක්කා. කෙරවලපිටියෙ බලාගාර ගිවිසුම අත්සන් කරන්නෙ ඒ නිසා.
එදා ජේ ආර් ජයවර්ධන එකාධිපති බලයක් නිර්මානය කරගත්තා වගේම මේ අය 2020 මහමැතිවරණයෙන් පස්සෙ 20 වැනි සංශෝධනය සම්මත කරමින් විශාල බලයක් එකරාශි කරගත්තා. මේ වන විට මේ රටේ මිලිටරිකරණ ක්‍රියාදාමයක් සිදු කරමින් තිබෙනවා. අපි මේ කියන්නෙ අණ පිළිපදින සොල්දාදුවන් ගැන නෙවෙයි. රජයේ ඉහළ ස්ථානවල මර්මස්ථානවලට හිතවත් නිලධාරින් පත් කරමින් සිදුකරන ක්‍රියාදාමය ගැනයි. මේ ආකාරයට ධනපති පාලකයන් විසින් දේශපාලන බලය පාවිච්චි කිරීමට අමතරව මිලිටරි බලයෙන් ජනතාව පාලනය කරන්න යන්නෙම ජනතාව ඉල්ලා සිටින අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නොහැකි නිසා. ජනතාව ආර්ථික ගැටලුවලට සහන දෙන්න කියන විට ඒවා ඉටුකරන් පාලකයන්ට බැරි වුණාම පිළිතුරු දෙන්නෙ මර්දනයෙන් බව එචා 1980 දසකයේ අත්දැකීම් අපට පෙන්වා දෙනවා. අද මේ ගෝඨාභය රාජපක්ෂගේ පාලනය සිදුකරමින් සිටින්නේ ඒ ආකාරයේම ජතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි මර්දනයක් ක්‍රියාත්මක කිරීමයි. මේ වනවිට අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් දිගින් දිගටම සිරගත කරමින් තිබෙනවා. චමීර කොස්වත්ත සහෝදරයා කෝෂිලා සහෝදරිය කිසිදු සාක්ෂියක් නොමැතිව සිරත කළා. ශිෂ්‍ය නායකයන් සිරගත කර තැබුවා. මේ වන විට අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහෝදරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවට විවිධ මාධයවලින් වාර්තා කර තිබෙනවා. ඒ නිසා මේ රටේ දේශපාලන ගමන්මග මර්දනකාරී ලෙස හසුරුවාගන්න වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. මේ තත්වය පරාජය කරන්න මේ රටේ ජනතාව සමග එක්ව කටයුතු කරන්න අපි සූදානම්. සමහර විට පාලකයන්ගෙ අරමුණ වෙන්න ඇත්තේ අපිව නැවතත් කැලේට තල්ලු කර දමන්න, අපෙ සහෝදර සහෝදරියන් හිතුමතේ අත්අඩංගුවට ගන්න සමහර විට ඝාතනය කරන්න මාර්ගය පාදගන්න වෙන්න ඇති. නමුත් අපි මේ රටේ පාලකයන්ගෙ අරමුණුවලට ජයග්‍රහණය කරන්න අවස්ථාව දෙන්න සූදානම් නෑ. එදා ජේ ආර් ජයවර්දන ඇතුළු පාලක පන්තිය ගෙන ගිය මර්දනකාරි අත්තනෝමතකි පාලනය පරාජය කරන්න සටන් වැදුණු, අපේ රටේ ජනතාව එම පාලනයෙන් නිදහස් කරගන්න, සමාජවාදය වෙනුවෙන් සටන් කළ ආදරණිය සහොදරියන් සහෝදරවරුන් ඝාතන කළ ආකාරයට කටයුතු කරන්න අපි මේ පාලකයන්ට ඉඩ දිය යුතු නෑ.
එවැනි මර්දනයක් ගෙන එන්න, ප්‍රජාතන්ත්‍රවිරෝධී පියවර ගන්න ආණ්ඩුව ගෙන යන පියවර, පරාජය කිරීමේ අරමුණින් මේ රටේ සියලු වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, වාමාංශිකයන්, සමාජ ක්‍රියාකාරිකයන් සමග අරගල කරන්න අපි සූදානම්. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයයිතිය රැක ගන්න අපි ඕනෑම ආකාරයේ පරිත්‍යාගයක් කරන්න සූදානම්. අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන් හුදකලා කරමින් දඩයමට ලක් කිරීමට ආණ්ඩුව සූදානම් වුවත් අපි ඊට ගොදුර කරගැනීමට ඔවුන්ට අවස්ථාව දෙන්නේ නැති බවත් පාලකයන් ගෙන යන මර්දනකාරී පාලනය පරාජය කර ජනතාවගේ අරමුණු ජයග්‍රහණය කරගන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් මෙහිදී අවධාරණය කළ යුතුයි.
මරර්දනය මේ විදියට පාවිච්චි කරන්න හදන්නෙ පාලකයන්ට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි බව සනාථ වෙමින් මේ පාලකයන්ගෙ පාලනයම අභියෝගයට ලක්වන තත්වයක් තුළයි.
මේ වනවිට ආනයන සීමා කරමින් ජනතාවට ගැටලු ඇතිකර තිබෙනවා. මේ රටේ බහුතරයක් පරිභෝජන භාණ්ඩ ගෙන්වන්නෙ විදේශයන්ගෙන්. මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න අසමත් වී තිබෙනවා. මේ දක්වා යාන්තම් කාල ඇඳලා ජීවත් වූ ජනතාවකට දැන් පරණ විදියටවත් ජීවත් වෙන්න බෑ. පෞද්ගලික අංශය මුලුමනින්ම අසරණ වෙලා. වෑන්වල, ත්‍රිරෝද වලින් ආර්ථිකය ගෙනයන අයට සහන දෙන්න අයවැයෙන් යෝජනා කරද්දි සිදුව ඇති දේ අපි දන්නවා.
සෑම තැනම විරෝධතා සිදුවනවා. මේ වනවිට විවිධ පාර්ශ්වවල විරෝධතා මර්දනය සිදුවනවා. අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. ඒ වගේම විරෝධතා දැක්වූ සහෝදර සහෝදරියන් ඇප නොදී සිරගත කරමින් තිබෙනවා. සිසු ජන ව්‍යාපාරයේ විරෝධතාව නිසා අත්අඩංගුවට ගත් අයට චෝදනා කළේ රාජ්‍ය දේපළ හානිකළ බවටයි. මහාමාර්ග ආඥාපනත යටතේ චෝදනා කරන්න තිබුණ දෙයක් ඇයි රාජ්‍ය දේපළ යටතේ චෝදනා කළේ. ඇප නොදී තබාගන්න අවශ්‍ය කුමන්ත්‍රණය තමයි ක්‍රියාත්මක කෙරුණෙ.
එහෙම තත්වයක් යටතේ අපි අද 32 වැනි ඉල් විරු සමරුව පවත්වන්නෙ. එදා පැති දුෂ්ට පාලනයට එරෙහිව, ජනතාව පීඩාවකට පත් කිරීමට එරෙහිව, කලාපීය වශයෙන් රට විදේශ බලයන්ට යටත් කරමින් ඉන්දියානු ආක්‍රමණයකට පාර කපා දුන් අවස්ථාවක තමයි එ සහොදරවරු අරගල කළේ. සමාජවාදය වෙනුවෙන් ඔවුන් ඒ අරගලය තුළ කැපවීම් කළේ. අද වවනවිට මේ පාලක කණ්ඩායම විසින් ඇතිකර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රති‍පත්ති නිසා රට විශාල ආර්ථික අගාදයක් කර යමින් ‍තිබෙනවා. කලාපීය බල අරගලයක සිටින ලෝකයේ බලවත් රටවල නයාය පත්‍රයන් අනුව මේ රටේ අනාගතය තීරණය කරන, ජනතාව බලවතුන්ගේ යුද තර්ජනයකට ගොදුරු කරන අවදානමක ඇද දමා තිබෙනවා. මේ වනවිට රට තුළ ගොඩ නැගෙන සමාජ ආර්තික අර්බුදය දුප්පත් පොහොසත් හෝ වෙනත් කිසිදු වෙනස්කමක් නොමැතිව සමස්ත සමාජයම ගොදුරු කරගන්න තැනකට ඇද දමා තිබෙනවා. මේක මේ පාලකයන් විසින් පමණක් නොවේ වසර දසක ගනනක් පාලක කණ්ඩායම් වරින්වර රටත් සමාජයත් ඇද දමා තිබෙන තත්වය මේක. වරින්වර විවිධ පොරොන්දු දෙමින් ජනතාව රවටා බලයට පැමිණි විවිධ පාටවලින් ජනතාව මංමුලා කළ දේශපාලන පක්ෂවල පාලනය විසින් මේ සමාජයට ඉතිරි කළ ප්‍රතිපලය මේකයි.
නමුත් මේ තත්වය තුළ මේ ක්‍රමය යටතේම හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා වෙනස්කම් කරන්න පුළුවන් කියලා සමහරු කියන්නෙ. අපි දන්නවා අවුරුදු 73ක් පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු මොකද කළේ කියලා. ඒහෙම ගිය හැමෝම හොරකම් කළා වංචා කළා නෙවෙයි. නමුත් ජනතාව වෙනුවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ගිය අයට වුනේ මේ ජරාජීර්ණ ධනපති ක්‍රමය ආරක්ෂා කරන්න, මෙක පිරිපහදු කරන්න වැඩ කරන්න සිදුවීමයි. පාර්ලිමේන්තුවේ බලය ඇතිවම එදා කළ දේවල් නිසා මර්දනකාරී ජනතා විරෝධි තත්වය නිසා සටන් කළ දස දහස් ගණනක් ඝාතනය කළේ පාර්ලිමේන්තුවේ හොඳ මිනිස්සු නැතිව නෙවෙයි. නමුත් තවමත් මේ ධනපති ක්‍රමයෙන් ජනතාවට ජයග්‍රහණ ලබා දෙන්න පුළුවන්ය කියලා පාර්ලිමේන්තුවාදයට යට වූ සමහර අපේ පැරනි මිතුරන් ජනතාව රවටනවා. අපි කියන්නෙ මේ පාර්ලිමේන්තුවේ බලයෙන්, මිලිටරි බලයෙන් ජනතාව පෙළන ජනතාව සූරාකන පාලක අරමුණු පරාජය කරන්න, ජනතා බලයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩ නගමු කියලා. මේ යෝජනාව අපි කරන්නෙ මේ අර්බුදයෙන් ගැලවීමට අපේ සමාජයට ඉතා ඉක්මනින් මාර්ගයක් පාදා ගත යුතුව තිබෙන නිසා. මේ වන විට පාලක පන්තියේ අරමුනු අනුව රට මර්දනකාරීත්වය රජ කරන මිලිටරිමය බලයක් වෙත ගෙන යමින් තිබෙන බව ඇත්ත. ඒවැනි පසුබිමක අපට ඉතා ඉක්මනින් ජනතාවගේ මේ විරෝධය සංවිධානය කරමින් ඔවුන් ඉල්ලා සිටින විස ඳුම් සඳහා වන වැඩපිළිවෙළක් කරා යාමට සිදුව තිබෙනවා. අප යෝජනා කරන්නෙ විසඳුම් සහිත වැඩපිලිවෙළක් සහිතවයි. අපට අරමුනක් වගේම වැඩපිලිවෙළක් තිබෙනවා. මේ උද්ගත වෙලා තියෙන දුෂ්කර අවස්ථාවේ අපිට අපේ අරමුණ වෙනුවෙන් වැඩ කිරීමට දුෂ්කර කොන්දේසි පසු කරන්න වෙනවා.
හෝ චි මින් සහෝදරයා ප්‍රකාශ කළ අදහස් මෙහිදී අපි සිහිපත් කරන්න ඔ්න. ඔහු කිව්වෙ කුණාටුව විනාශකාරියි තමා නමුත් කුණාටු හමන එක හොඳයි, පයින් ගස්වලට සහ සයිප්‍රස් ගස්වලට තමන්ගෙ ස්ථාවරත්වය මැන ගන්න.
නමුත් අපි දැක්කා පයින් ගස් නෙවෙයි, සයිප්‍රස් ගස් නෙවෙයි පහුගිය කාලෙ දැවැන්ත වෘක්ෂයන් නැමෙනවා ඇඹරෙනවා. අපි දැක්කා සෝවියට් දේශය ඇද වැටුණා. අද චීනයේ සමාජවාදය තියෙනවද? එක සමාජවාදයද ධනවාදයද?
සමාජවාදය යථාර්ථයක් කරන්න පුළුවන්ද කියලා සමහරු අහනවා. එ් ප්‍රශ්නය ජනතාව අහනවාට වඩා ධනේශ්වර චින්තකයන්, මත සකස් කරන්නන් විසින් ජනතාවට මේ ප්‍රශ්නය දීලා තියෙනවා.  ඒ අය අහන්නෙ නෑ ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනකායක් අසරණභාවයට ඇද දමමින් විනාශය කරා ගෙන යන ධනවාදය සාර්ථකද කියලා.
මේ වසංගතයට මුහුණ දෙන්න පුළුවන්කමක් නෑ ධනවාදයට. ශක්තිවන්තයාට පමණයි ආරක්ෂා වෙන්න ලැබෙන්නෙ. දුර්වලයන් රැක ගන්න ධනවාදයට හැකි වුණේ නෑ. අමෙරිකාවෙත් ඔක්සිජන් තිබුණෙ නෑ. ඉන්දියාවෙත් නෑ. ලංකාවෙත නෑ.
කොවිඩ් වසංගතය නිසා ලොකයේ මිලියන 5ක් පමණ මිය ගියා. මේ තත්වය පවත්වා ගෙන යාමද හොඳ? නැත්නම් මේක වඩා යහපත් තත්වයට පත් කිරීම කළ යුතුද? අප අහමුවේ ඇති ප්‍රශ්නය ඒ්කයි. අපි මේ අභියෝගය භාර ගන්න සූදානම්. අපේ සමාජය මුහුණ දෙන මේ අභියෝගය ජයගන්න, ඒ් වෙනුවෙන් වැඩකරන්න, අවශ්‍ය ඔනැම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම් බව මේ අවස්ථාවේ අවධාරනය කරනවා. ඒ් නිසා මේ තත්වය වෙනස් කරන්න අපට පුළුවන්. සමාජයක් ලෙස, වැඩකරන ජනතා බලයක් ලෙස මමේ රටේ කම්කරුවන්, ගොවි ජනතාව, ධීවර ජනතාව, ශිෂ්‍යයන්, කාන්තාවන්, තරුණයන් ලෙස ඒක කරන්න අපි එකතු වෙමු.
ඒ් වෙනුවෙන් අප සමග අත්වැල් බැඳගන්න කියාල අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. පහුගිය කාලෙ පොහොට්ටුවට ඡන්දය දුන්, වෙනත් පක්ෂවලට ඡන්දය දුන්න ජනතාවට අපි ආරාධනා කරනවා. අපේ පැරණි මිතුරන්ට, ජනතා විමුක්ති පෙරමුණේ ආදරණීය සහෝදරියන් සහෝදරවරුන්ට අපි ආරාධනා කරනවා, අප වටා , අපේ වැඩපිළිවෙළ වටා ඒ්කරාශි වෙන්න කියලා.”

Vidhura

Read Previous

Media briefing revealing real political reasons behind government oppression by Comrade Kumar Gunaratnam, General Secretary of the FLSP

Read Next

Five activits were released on bail after more than 100 days of detention

Leave a Reply

Your email address will not be published.

Most Popular