FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

යුක්තියේ මෙහෙයුම අස්සේ ටිරාන් – දේශබන්දු පෞද්ගලික කොන්තර පිරිමහනවාද?

යුක්තියේ මෙහෙයුම අස්සේ ටිරාන් – දේශබන්දු පෞද්ගලික කොන්තර පිරිමහනවාද? රතු මුහුදට හමුදාව යැව්වේ රනිල්ගේ මොන අමාරුවකටද? පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි 2024.01.06 මාධ්‍ය හමුව

“හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් – යුක්තියේ නාමයෙන් සිදුවන අයුක්තියේ දේශපාලනය අවසන් කරන්න!” – පුබුදු ජයගොඩමේ වනවිට ටිරාන් අලස් හා දේශබන්දු නටන නාඩගමක් තිබෙනවා. ඒකට යුක්තිය කියලා නමකුත් දාලා. මේ යුක්තිය නමින් සිදුකරන අයුක්තිය සම්බන්ධයෙන් කවුරුවත් කට අරින්නෙ නැති තත්වයකුත් තිබෙනවා. අපි පක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් හඬ නගන්න තීරණය කළා. මේ ගැන මොන තරම් නිහැඬියාවක් තිබෙනවාද කිව්වොත් එක් සිදුවීමක් ගැන කිසිදු මාධ්‍යයකින් කතා නොකරන්න රනිල් රාජපක්ෂ දේශබන්දු කල්ලිය සමත් වෙලා තියෙනවා.දෙසැම්බර් 31 වැනිදා වෑන් රථයකින් පැමිණි පිරිසක් වැලිගම පැලෑඳ ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම නිසා හෝටලයේ කාර්ය මණ්ඩලය පොලිසියට දැනුම් දුන් අතර පොලිසිය පැමිණ එම ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළත් වෑන් රථයේ පිරිස පළා ගොස් තිබුණා. නමුත් පොලිසියෙන් මිදී පළායන ප්‍රහාරකයන් සම්බන්ධ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට දැනුම්දී තිබුණු නිසා දක්ෂිණ අධිවේග මාර්ගයේ ඉමදූව ප්‍රවේශයේදී ඔවුන් නවතා ප්‍රශ්න කළා. නමුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් කියන නිලධාරියා විසින් උසස් පොලිස් නිලධාරියකුට කතා කරලා ජංගම දුරකථනය ඉමදූව පොලිසියේ නිලධාරින්ට දීලා තිබුණා. මේ කතා කළ පුද්ගලයා, මේ වනවිට වංචනික ලෙස පත්කර තිබෙන වැඩබලන පොලිස්පති දේශබන්දු බවට ප්‍රචාරයක් තිබෙනවා. වෑන් රථයේ වෙඩි වැදුණු දෙදෙනකු සිටි නිසා ඔවුන් රඳවා පොලිස් භාරයට ගෙන තුවාලකරුවන් රෝහල්ගත කර තිබුණා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේ ගැන මොකුත් නොකියා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ගැන කියමින් ඇත්ත සිදුවීම වසා දමන්න කටයුතු කරන බව පෙනෙනවා.ඔහු කියන ආකාරයට හෝටලයෙන් වෙඩි තැබුවා නම් කළ යුුතුව තිබුණෙ ප්‍රදේශයේ පොලිසියට කතාකරලා සහාය ඉල්ලන එක. නමුත් පොලිසියට කතා කළේ හෝටලයෙන්. හෝටලයෙ ජාවාරම්කාරයන් හිටියා නම්, වෙඩි තැබුවෙ ඔවුන් නම් පොලිසියට කතා කළේ ඇයි? අනික නිල රජකාරියක් කරන්න ගියා නම් වැලිගම පොලිසිය වෙඩි තියනකොට පළා ගියේ ඇයි? දිගටම කොළඹට පැනලා යන්න උත්සාහ කළේ ඇයි? තුවාලකරුවන් සිටියදී ඔවුන් රෝහල්ගත කරන්න උත්සාහ නොකළේ ඇයි?උපුල් චමින්ද කුමාරගෙ මරණය බලන්න ගිහින් ටිරාන් අලස් කියනවා මිය ගියේ වීරෝදාර නිලධාරියෙක් කියලා. නමුත්  පොලිසියේ ඉහළ නිලධාරින් හරහා ටිරාන් දෙන නියෝග අනුව තුවාලකරුවන් කොළඹට අරන් ආවා නම්, වෙඩි වැදුණු අනෙක් නිලධාරියා මධුරංගගේ මළගෙදරට ගිහිල්ලත් ටිරාන් ඔය කතාවම කියයි. තුවාල ලැබූ නිලධාරියාගෙ ජීවිතේ බේරුණේ ඉමදූව පොලිසියේ නිලධාරින් කොළඹින් කතාකළ උසස් පොලිස් නිලධාරියාගේ වැරදි නියෝග පිළිපදිනවා වෙනුවට ඔහු රෝහල්ගත කළ නිසා. මේ සිදුවීමේ අනෙක් ප්‍රශ්නය තමයි, ඇයි පොලිසිය වෑන් රථයට ව්‍යාජ අංක පාවිච්චි කළේ? වෙඩි වැදුණු අය කොළඹට ගෙන යන්න උත්සාහ කළේ ඇයි? මෙම පොලිස් නිලධාරින් ගිය වෑන් රථයේ අංකය ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වෙලා තිබෙනවා. මරණීය තුවාල ලැබූ නිලධාරින් රෝහල්ගත නොකර කොළඹට පළායන්න මේ අයට තිබුණ හදිස්සිය මොකක්ද? ඒ වගේම දෙමටගොඩ පොලිස් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇනස්ලම් මෙම වෑන් රථයේ සිට තිබෙනවා. මේ වනවිට පොලිස් අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වාට සම්බන්ධ අපරාධ චෝදනා ගණනාවක් තිබෙනවා. ඒ අනුව නිහාල් තල්දුව කියන ආකාරයේ සුරගන කතාවක් විශ්වාස කරන්න බෑ. ඒ නිසා දෙමටගොඩ පොලිසිය හරහා නඩත්තුවන නිල නොවන ඝාතක කණ්ඩායමක් තිබෙනවද කියන ප්‍රශ්නය ඕනම කෙනෙකුට මතු වෙනවා. මේ පොලිස් කණ්ඩායම වෙඩි තැබුව හෝටලය අයිති ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගෙ පුත්‍රයා ජමාල්ඩීන්ට අයත් එකක් බව හෙලි වී තිබෙනවා. මේ ආකාරයට වෙඩිතැබීමට අදාළ හේතුව කොළඹ, මල් පාරේ, ජමාල්ඩින්ට අයත් ඉඩමකට ටිරාන් අලස් විසින් හොර ඔප්පු හදලා ඇතිව තිබෙන ගැටුමක් කියලා තොරතුරු අනාවරණය වී තිබෙනවා මේ සම්බන්ධ අධිකරණ කටයුත්තකුත් තිබෙනවා. ටිරාන් අලස් සහ ජමාල්ඩින් අතර පුද්ගලික ප්‍රශ්නයක් නිසා මේ පොලිසිය මැදිහත් කිරීමට කටයුතු කරලා.ටිරාන් අලස් වැනි ලුම්පන් තක්කඩියෙක් පොලිස් ඇමතිකමට පත්කරද්දි ඒ වගේම මේ ආකාරයෙන් දේශබන්දු වැනි නිලධාරියකු උසස් නිලයක පත් කරලා තමන්ගෙ පුද්ගලික වෛරයක් පිරිමහන්න, පොලිසිය යවලා කළ අපරාධයක් නිසා සිදුවෙලා තිබෙන විනාශය කොතරම්ද? ඔවුන්ගෙ නියෝග පිළිපදින නිලධාරින්ට ජීවිත අහිමි වෙලා. මේ ගැන කිසිදු ප්‍රධාන මාධ්‍යයක් කතා කරන්නෙ නෑ. ඔක්කොගෙම කටවල් වහලා. ඇයි මෙහෙම නිහඬතාවක් තිබෙන්නෙ කියලා අපි මාධ්‍ය ආයතනවලින් අහනවා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් අහනවා, දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් අහනවා. මේ ආකාරයෙන් පොලිසිය තුළ වෙනම ඝාතක කණ්ඩායම් පවත්වාගෙන යාම, පෞද්ගලික ව්‍යාපාරික කෝන්තර පිරිමැසීමේ අරමුණු වෙනුවෙන් එවැනි කණ්ඩායම් මෙහෙයවීම  ගැන ඔබ එකඟද කියලා අපි ඔවුන්ගෙන් අහනවා. මේක මේ  මත්ද්‍රව්‍ය කතාව කියලා හෝටලයකට පහරදීමක් පමණක් නෙවෙයි, මේක සමාජයක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. මේක මේ රටේ ඕනම කෙනෙකුට අනතුරක් එල්ල වන තත්වයක්. අපි මාධ්‍ය ආයතනවලින්, දේශපාලන පක්ෂවලින් විමසනවා මේ ආකාරයට නිල නොවන පොලිස් කණ්ඩායම් නඩත්තු කිරීම ගැන ඔබේ මතය කුමක්ද?දැන් ඒක සිදුවෙලා දින කීපයකින් දෙහිවල තිබෙන දේශබන්දුගෙ පරණ මිතුරෙකුගෙ හෝටලයක් කඩා බිඳ දමන්න පොලිසිය බැකෝ යන්ත්‍ර අරගෙන ගිහින්. ටිරාන් අලස්ගෙ පත්තරෙන් කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතු හෝටලයක් කඩන්න ගියා කියලා. නමුත් මේ හෝටලය සම්බන්ධ වරදක් තිබෙනවා නම් පොලිසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීත්‍යනුකූලව කටයුතු කරන්න පුළුවන්. මේ පුද්ගලික කෝන්තරයකට තමන්ගෙ පරණ යාලුවාගෙන් පලිගන්න දේශබන්දු කළ වැඩක් බවට සැකයක් තිබෙනවා. ඒ හෝටල හිමිකරු දේශබන්දුගෙ යාලුකම ගැන ඒකට කරපු ගෙවීම් ගැන ප්‍රසිද්ධියේ කියනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරියට ගෙන යමින් සිදුකරන අයුක්ති සහගත මෙහෙයුම ගැන අපි සමාජයක් ලෙස බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුයි.මේ වනවිට මේ යුක්තිය මෙහෙයුම කියලා අත්අඩංගුවට ගන්න අය වේලාසනින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූ අය. එහෙම අත්අඩංගුවට ගත්තෙ පොලිසියට දිනපතා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙන යන්න. දේශබන්දුට ටිරාන්ට බොරු වීරයන් වෙන්න මාධ්‍ය මගින් ප්‍රතිරූප පුම්බන්න. මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීම්, හිංසාවන් ගැන කතා කරන මාධ්‍යවේදින්ට කුඩු සම්බන්ධ අවලාද නගනවා, නීතිඥයන්ට, දේශපාලන ක්‍රියාකාරින්ට, සමාජ ක්‍රියාකාරින්ට අවලාද නගනවා.එක කාලයක් තිබුණා සියලු දෙනා එල්ටීටීඊ කියලා අත්අඩංගුවට ගන්න එකෙන් ඇත්ත වසා දමමින් ජනතාව රවටමින් රාජපක්ෂලාගෙ දේශපාලනය ආරක්ෂා කරගන්න, ඔවුන්ගෙ දූෂිත, මර්දනකාරී ජඩ දේශපාලනය එල්ටීටීඊ කතාවලින් වසා දැමුවා. ඊට පස්සෙ කාලයක් තිබුණා සහරාන් සහරාන් කියලා ජනතාවගේ ඇස් වහලා මර්දනය ඉදිරියට ගෙන ගියා.ඊට බොහෝ කලකට පෙර 1980 ගණන්වල රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය වුණේ ජේවීපීකාරයෝ කිය කිය මර්දනය පවත්වා ගෙන ගිය එක.කුඩු ජාවාරම්කාරයන් අල්ලන්න වැලිගම පැත්තෙ හෝටල්වල යන්න දෙයක් නෑ. ප්‍රධාන කුඩු ජාවාරම්කාරයන් 10 දෙනාගෙන් පාර්ලිමේන්තුවේ 6 දෙනෙක් ගැන රන්ජන් රාමනායක චෝදනා කරනවා. ඔය කුඩු අල්ලනවා කියන ටිරාන්ලා කෝටි ගණන් මහජන මුදල් විදේශ විනිමය වංචාකරපු හැටි යුරෝපයේ ආයෝජනය කළ හැටි ඉදිරිපත් කළ චෝදනා විමර්ශනය කළාද? ඒවා යට ගැහුවා. එල්ටීටීඊ එකට මුදල් දුන්න බවට අධිකරණයෙදි චෝදනා ඉදිරිපත් වුණා. ඒවා යට ගහලා මේ රටේ ජනතාව මත හිංසනය, මර්දනය, භීෂනය පටවන එක වහාම නැවැත්විය යුතුයි.අපි ළඟ සාක්ෂි තිබෙනවා. මේ තියෙන්නෙ 4 දා, මේ බ්‍රහස්පතින්දා ගාල්ල මාතර මාර්ගයේ බස් නවත්වලා, වැඩට යන සේවක සේවිකාවන් පරික්ෂා කරනවා. නමුත් පරික්ෂා කරන එක පවා කරන්නෙ නෑ. මේක මේ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ආණ්ඩුවේ මෙහෙයුමක්. බත්තරමුල්ලෙදි සත්ව අහිංසා ක්‍රියාකාරිනියක්  අත්අඩංගුවට අරන් තියෙන්නෙ හැඳනුම්පත නෑ කියලා. නමුත් අත්අඩංගුවට ගත් අය ළඟ මත්ද්‍රව්‍ය තිබිලත් නෑ, සමහරුන්ට චෝදනා කරමින් ඉදිරිපත් කළ පැකට්වල තිබුණෙ පාන්පිටි බව හෙළි වෙලා. පොලිසියට දැන් දාස් ගානක් සැකකරුවන් කරලා ඉදිරිපත් කරන්න මත්ද්‍රව්‍ය නෑ. ඒ නිසා පිටි දාලා ඉදිරිපත් කරනවා. කරමින් දහස් ගණන් ඉලක්කම් පෙන්වමින් කඩා වැටුනු පොහොට්ටුව නැගිට්ටවන්න බෑ.  යුක්තිය යුක්තිය කියමින් කරන අයුක්තිය නවත්වන්න, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් දේශපාලනය අවසන් කරන්න. දේශපාලන පක්ෂවල නායකයන්ගෙ කැත ජඩ අරමුණුවලට අපරාධ කරන, මිනිමරන, ජනතාවට හිරිහැර කරන දේශපාලනය නිසා මේ රට විනාශ වෙනවා. මේක සිදු වෙලා දවස් ගානක් ගිහින් දේශපාලන පක්ෂ සද්ද නැතිව ඉන්නවා. අපි කියනවා ‍නිහඬව ඉන්න එපා මේ ගැන කතා කරන්න.”

Vidhura

Read Previous

ජනවාරි පළමු වන දා උදේ අවදිවන විට සියලු මිල ගණන් ඉහළ ගිහින් – ළහිරු වීරසේකර- 2024 – 01 – 01

Read Next

කළු ජැකට් ඇඳ ගත්ත එකෙක් අත දැම්මත් අපි මහ රෑ වාහනේ නවත්තන්න ඔ්නද? – දුමින්ද නාගමුව ටිරාන්ගෙන් විමසයි

Leave a Reply

Your email address will not be published.

Most Popular