FRONTLINE SOCIALIST PARTY – SRI LANKA  පෙරටුගාමී සමාජවාදී පක්ෂය – ශ්‍රී ලංකාව  முன்னிலை சொஷலிஸக் கட்சி – இலங்கை

“34 වන ඉල්මහ විරුවන් සමරන්න මෙහි රැස්ව සිටින අප මේ ගෙවමින් සිටින්නේ ලංකාවේ වගේම ලෝක දේශපාලනයේ සන්ධිස්ථානයකයි”

ජනතාවගේ බලය සවිමත් කළ වහාම අපි මේ විනාශකාරී පාලනය පරාජය කරනවා!
– පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා

අද අනුප්‍රාප්තික ජනාධිපති අයවැය ඉදිරිපත් කරමින් අද කිව්ව බොහෝ දේවල්වල ඉදිරි අරමුණු කීපයක් පනෙන්න තිබෙනවා. අප තේරුම් ගත යුත්තේ වසර 46ක් තිස්සේ සම්පූර්ණ කරගන්න බැරි වුනු වීවෘත ආර්ථිකයෙ, නවලබරල් ධනවාදයේ ඉලක්ක ජයගැනීමේ අරමුණ ඇතිව ඔවුන් කටයුතු කරමින් ඉන්න බවයි.

මේ අයවැය ගැන වටහා ගනිද්දි, රනිල් වික්‍රමසිංහ කියන රූකඩයත්, ඔහුව හසුරුවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලසුම, ඒ සැලසුම් අනුව ආර්ථිකය තුළ අඩංගුවන එක්සත් ජනපදයේ ඉන්දියාවෙ ආර්ථික දේශපාලන ප්‍රමුඛතාවන්, අදානිලගෙ අම්බානිලගෙ මැදිහත්වීමේ ප්‍රමාණය යන මේ සියල්ල ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි. නවලිබරල් සැලමසුම් ඉදිරියට ලෙන යාමේ සැලසුම් ක්‍රියාත්මකකරන මේ වෙලාවෙ අපි ඉල්මහ විරුවන් ගැන කතා කරන්නෙ. 

මේ වෙලාවෙ අදහස් දක්වපු අපේ තරුණ සහෝදරවරු කිව්වා, 2022 මහජන අරගලයට සම්බන්ධ වෙද්දි ඔවුන් කොහොමද 88-89 අරගලයේ පාඩම් සඳහා භාවිතයට ගත්තෙ කියලා. ඔවුන් ප්‍රකාශ කළ ආකාරයට අරගලයට විවිධ බාධාකිරීම් කරමින් ඇති කළ තත්වයන් ජයගන්න ඒ අපේ අතීත වීරවරියන් වීරයන් කළ දේශපාලනයේ අත්දැකීම් මග පෙන්වා තිබෙනවා. පසුබැසීම් හමුවේ අරගලය නැවත පනගන්වන්න ඒ අතීත ඉල්මහ විරුවන්ගෙ දේශපාලන භාවිය මග පෙන්වූ බව ඔවුන් ප්‍රකාශ කළා. මුල් අවස්ථාවෙ මහජන අරගලයට විවිධ අවලාද නගමින් බාධා කරමින් නමුත් අරගලය ඉදිරියට යද්දි ඒ තුළින් වාසිගන්න සමහරු උත්සාහ කළා. පාර්ලිමේන්තුව අල්ලලා බලය අල්ලන්න ඒ සමහරු උත්සාහ කරද්දි අපේ තරුණ නායකයන් කිව්වෙ රාජ්‍ය ඒ තරම් සුලුවට ගන්න එපා. අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ඊළඟ පියවර වෙනුවෙන් කම්කරුවන්, ගොවීන් ඇතුළු බලවේග සංවිධානය කරමු කියලා. ඔවුන් තේරුම් ගත්තා. රාජ්‍ය සතු බලය සහ අරගලයකදි මර්දනය ක්‍රියාත්මක වන ආකාරය ගැන. ඒ පාඩම ඔවුන් ඉගෙන ගත්තේ 1988-89 අරගලයේ අපේ ආදරණීය සහෝදරවරු අරගලය තුළ ලබාදුන් පාඩම් ඇසුරෙන්. 

1848 අරගලය සම්බන්ධ අපේ දේශපාලන ගුරුවරුන් වන මාක්ස් සහ එංගල්ස් කියවාගැනීමක් කළා. ඒක විප්ලවයක් නෙවෙයි කියලා හඳුන්වමින් නමුත් ඉන්පසුව පාලකයන්ගේ මැදිහත්වීමෙන් දියත්වූ ප්‍රතිවිප්ලවය ගැන ඔවුන් නිවැරදිව විග්‍රහ කළා. එදා එංගල්ස් කීවෙ අරගලයක් අවසානයේ වෙන්න පුළුවන් පැති දෙකක් තිබෙන බව. එකක් අරගලය අඛණ්ඩව ඉදිරියට යාමේ හැතකියාව තිබෙනවා. නමුත් එහෙම නැත්නම් අරගලය මර්දනයට ඇද දමලා නැවත අරගලයකට කිසිදු ජනතා මැදිහත්වීඹක් ඉටු නොකරන ආකාරයේ ප්‍රතිවිප්ලවයක අවධියකට යන්න පුළුවන්.

අපි 2022 අරගලය හඳුන්වන්නෙ විප්ලවයක් ලෙස නෙවෙයි, නමුත් අපි ඒ අරගලය එහි ශක්තිය මෙන්ම දුබලතා කියවා ගනිමින් ඉදිරියට ගෙනයාමේ අරමුණක් තිබෙනවා. ඒ වගේම 2022 මහජන නැගිටීම අවසානයේ පාලකයන් තමන්ගෙ හෙංචයියන් භාවිත කරමින් ඉන්දියාවෙ මැදිහත්වීමෙන් මුල්‍ය අරමුදලෙ සැලසුම් ඉදිරියට ගනිමින් තිබෙනවා. ඔවුන් ඔත්තු සේවා, පොලිසියේ තමන්ට පක්ෂපාති කොටස් පාවිච්චි කරමින් ජනතාව මර්දනයට පාර සකස් කරනවා. ඒ වගේම ත්‍රස්ත විරෝධී පනත් සහ සමාජ මාධ්‍ය මර්දන පනත් ආදි වශයෙන් මර්දන නීති ගෙන එමින් ඔවුන් ප්‍රතිවිප්ලවයක් ඉදිරියට ගෙනයාමට උත්සාහ කරනවා. නමුත් අපි කියනවා, අපි මේ රටේ පීඩිත ජනතාව සංවිධානය කරමින් ඒ අරගලයේ අඛණ්ඩතාව ශක්තිමත් කරනවා, ඒ මහජන අරගලය සමාජ ජයග්‍රහණ දක්වාම සමාජ විප්ලවයක් දක්වා ඉදිරියට ගෙනයාමට ශපථ කරනවා. 

අපි දන්න ඉතිහාසය තුළ 1988-89 අරගලයෙදි ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ ගෙන දෙන්න සටන් වැටුණු නම දන්න නොදන්න දහස් ගණනක් සහෝදරියන් සහෝදරවරු හිටියා. කෘර මර්දනයක් මැද ඒ සහෝදර සහෝදරියන් වෙතින් ගිලිහුණු ධජය අප අතට ගත් නිසාම ඔවුන් සැමරීමේ අවශ්‍යතාව අපට තිබෙනවා. ඒ අයිතිය අපට තියෙනවා. 

මේ වනවිට ලෝකය පුරාම බලවතුන්ගේ බල පොරය දිග හැරෙමින් තිබෙනවා. ඔවුන් විසින්ම ඇති කළ නමුත් දැන් ඔවුන්ටම පාලනය කළ නොහැකි අර්බුදය තුළ නැවත ලෝකය ඉලක්ක කරමින් මේ නැවත බෙදාගැනීමේ තරගයක් ඇතිව තිබෙනවා. ඒ නිසා දැන් මේ පීඩාකාරී ලෝක දේශපාලන ආර්ථිකය තුළ සමාජවාදය පිළිබඳ අරමුණ නැවත වතාවක් ඉදිරියට එමින් තිබෙනවා. අප පසුගිය කාලෙ දුටු ආකාරයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආව කෙනෙකුට අනුප්‍රාප්තික ජනාධිපති වෙන්න පුළුවන් වුණා. ඒක එහෙම වෙන්නෙ ඇයි? අපි දන්නවා, අර්බුදයක් තුළ කවටයකුට බලය ගන්න අවස්ථාව එනවා. විධායක බලය, පාර්ලිමේන්තු බලය, 20 වැනි සංශෝධනයේ අති විශාල බලයක් ගත්ත ජනාධිපති කෙනෙකුට දාල යන්න සිදු වුණේ මේ අර්බුදය නිසා. ඒ වගේම අර්බුදය නිසාම නිවට පාලකයකුට බලය හසුරුවන්නත් අවස්ථාව ලැබුණා. දැන් මෙයාගෙ බලය තියෙන්නෙ කොහොමද? මුල්‍ය අරමුදල සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඔහු දන ගහලා පොරොන්දු වෙලා තියෙනවා. එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන්ට පොරොන්දු වෙනවා ඒ සැලසුම් ඉදිරියට ගෙන යන්න. ඉන්දියාව ඒ අයගේ මැදිහත්වීම යටතේ මේ රටේ ආර්ථිකයේ වැඩි පංගුවක් වෙනුවෙන් ජනාධිපතිවරයා සමග සමග වැඩ කරනවා. චීනය යම් ආකාරයකට පස්සට ගිහින් හිටියත් දැන් නැවතත් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ඉදිරියට එමින් ජනාධිපතිවරයා සමග කටයුතු කරමින් ඉන්නවා.

දැන් මේ ජනාධිපතිවරයා යටතේ බදු සහන දෙන්නෙ ධනකුවේරයන්ට. සාමාන්‍ය පීඩිත ජනතාවට වැඩියෙන් බදු බර, බඩු මිල, විදුලි බල් ඉහළ දැමීම පටවමින් එයාගෙ පාලනය ඉදිරියට ගෙන යනවා. මේ නිසාම ජනතාවට තෝරාගන් ඇති එකම මාවත වෙන්නෙ මේ නවලිබරල් ආර්ථිකය ඉදිරියට ගෙනයන පාලනය වෙනුවට සමාජවාදය වෙනුවෙන් දේශපාලනය තෝරාගැනීමයි. අපි යෝජනා කරනවා මේ රටේ ජනතාවට එදා ඉල්මහේ විරුවන් තෝරාගත් සමාජවාදය සඳහා වූ අප්‍රතිහත ධෛර්ය සමග පෙරට එන්න. 

දැන් රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂලගෙ පාලනය පළාත්පාලන මැතිවරණයක් කියන කොට ඒ හරහා දේශපාලනය මාරු වෙනවා. නමුත් පළාත්පාලන මැතිවරණයට විවිධ බාධා පමුණුවලා ඒක දින නියමයක් නැතිව කල් දැමුවා. දැන් ඒක දිහා බලාගෙන හිටිය විපක්ෂය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ දැන් ජනාධිපතිවරණයක් දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට එයා කියනවා විධායක ක්‍රමය වෙනස් කරනවා කියලා. ඒ වගේම ආපහු කියනවා මැතිවරණ සංශෝධනයක් ගැන. ඉතින් ඒ පදේට නටන්න විපක්ෂයත් කටයුතු කරමින් ඉන්නවා.

මේ අතරෙම පහුගිය කාලෙ ජනතා විරෝධය නිසා පස්සට දැමූ ප්‍රතිසංස්කරන ඉදිරියට ගනිමින් ඉන්වා. නවලිබරල් ධනවාදයේ ඉදිරි සැලසුම් ඉදිරියට ගෙන එමින් තිබෙනවා. එදා 1988-89 අරගලයට පෙර අධ්‍යාපන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගල තිබුණා. ඒ වගේම විවිධ ජනතා අරගලවල ප්‍රතිපලයක් ලෙස විවිධ නවලිබරල්වාදී ප්‍රතිසංස්කරණ පරාජය කර තිබුණත් මේ පාලකයන් දැන් හෙමින් සීරුවේ ඒවා ඉදිරියට ගෙන එමින් තිබෙනවා. 

1987 ජේආර් මාමාගෙ කාලයේ ඉන්දියාව තමන්ගෙ දේශපාලන අරමුණ වෙනුවෙන් බලහත්කාරය පාවිච්චි කළා. අහසින් ආහාර පාර්සල් දමන අතර සන්නද්ධ හමුදා එව්වා, පාලකයන්ට බලකරලා ගිවිසුම් අත්සන් කළා. අදත් ඉන්දියාව, අම්බානිලගෙ, අදානිලගෙ, මිත්තල්ගෙ අවශ්‍යතා වෙනුවෙන් මේ රටේ ආර්ථිකයට මැදිහත් වෙමින් සිටිනවා. ඒ නිසාම අද අපගේ දේශපාලන අභියෝගය වටහා ගැනීමෙදි ජේආර්ගෙ ප්‍රේමදාසගෙ පාලන කාලය තුළ ඒ මර්දනය යටතේ එදා ඉල්මහ විරුවන් ඒ පැවති තත්වයට මුහුණ දුන් ආකාරය අප කියවා ගත යුතුයි. තහනම් කරපු පක්ෂයක් ලෙස එදා මර්දනය යටතේ ගොඩ නැගූ අරගලය, ඒ දේශපාලන විශ්වාසය අපට කියවා ගන්න පාඩම් ගෙන එනවා. 

එදා සමහර සහෝදරියන් සහෝදරවරුන් ඒ අරගලයට පණ පෙවුවෙ ජනතාවගේ බලය වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන්, එදා ඔවුන් ධනවාදය අසාර්ථක බවත් කිසිදු ජයග්‍රහණයක් සමාජය ගෙන නොඑන බවත් විශ්වාස කළා. ඒ වෙනුවට පක්ෂයට, සංවිධානාත්මක බලයකට ජනතා ජයග්‍රහණ ගෙන එන්න හැකියාව තිබෙන බව සමාජවාදයෙන් මෙපිට මේ ධනවාදයෙන් බැට කන සමාජයට යමක් දිනාගන්න බැරි බව ඔවුන් විශ්වාස කළා. ඔවුන් ඒ වෙනුවෙන් රාජ්‍ය බලය වෙනුවෙන් අරගලයක් ඉදිරියට ගෙන ගියා. අත්අඩංගුවට පත් වුවත්, මර්දනය බිහිසුණු වුවත්, නායකයන් එකිනෙකා මරා දමද්දි නැවත සංවිධානය වෙමින් ඔවුන් සටන් වැදුණා. හිරගෙවල්වල අධිෂ්ඨානය ගොඩ නගපු, හිරගෙවල් බිඳගෙන පිට වෙලා නැවත පක්ෂය සංවිධානය කරන අධිෂ්ඨානය නම දන්න නොදන්න සහෝදරියන්, සහෝදරවරුන් ගණනාවක් හිටියා.

අත්අඩංගුවෙදි පහරදීලා, උපරිම වද දුන්නත් කිසිම දෙයක් එළිකරන්න බැරි වුණා, ඒ වනවිට වධකාගාරවලදි නව උපක්‍රම යොදමින් ගෙන ගිය මර්දනයට මුහුණ දෙන්න ඉල්මහ විරුවන්ට ශක්තිය ලබා දුන්නෙ පක්ෂය පිළිබඳ විශ්වාසය හා සමාජවාදයේ ජයග්‍රහණය සහ පන්ති අරගලය පිළිබඳ විශ්වාසයයි.

එදා තිබුණ තත්වයන් හා අද ඇති තත්වය ඇතැම්විට සමාන වුත් අද වෙනස්කම් ගොඩක් තියෙනවා. එදා ජේආර් යම් ආකාරයක බලයක් ගොඩනගමින් දේශපාලනය සියතට ගෙන එමින් මර්දනය ගෙන ගියා. මැතිවරණ කල්දැමුවත් නැවත මැතිවරණ පවත්වමින් බලය ස්ථාපිත කරන්න කටයුතු කළා. නමුත් අද පාලකයන්ට කිසිදු ජනවරමක් නෑ. රනිල් වික්‍රමසිංහට මැතිවරණවලින් ජනතාව බලය ලබා නොදුන් පාලකයෙක් මේ ඉන්නෙ. මේ රටේ ජනතාවගේ ජීවිත මත පීඩාව පටවන්නෙ. 

ලෙනින් සහෝදරයා සම්බන්ධ විශේෂත්වයක් වුණේ ඔහු දේශපාලනයේ පවතින තත්වයන්, වර්ධනය වන තත්වය සම්බන්ධ විශ්ලේෂණාත්මක කියවා ගැනීමක් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග තේරීමක් තිබීමයි. ලෙනින් ගැන හංගේරියාන් මාක්ස්වාදියකු වන ජෝර්ජ් ලුකාෂ් කළ විග්‍රහයෙදි ඒ ගැන සඳහන් කළා. අපි අද ඉල්මහ විරුවන් ගැන කතාකරද්දි ඔවුන් කළ දේශපාලනයේ විශේෂත්වයක් වන්නෙත් ඒ හැකියාවයි. ඉල්මහ විරුවන් දේශපාලන අරගලයක් ඉදිරියට ගෙන යද්දි ඔවුන්ට දේශපාලන තත්වය පිළිබඳ නිවැරදි කියැවිමක් තිබුණා. 1983 පක්ෂය තහනම් කරද්දි ඇද වැටුණු පක්ෂය නැවත ගොඩ නගන්න, ඒ නායකයන් සමත් වුණා. ඔවුන්ගේ දේශපාලන අරගලයෙදි අඩුපාඩු ගණනාවක් තියෙද්දි, ඒ අඩුපාඩු නිසාම අරගලය පරාජයකින් අවසන් වුණත් ඔවුන් පරාජයන් නැවත ජයග්‍රහණයන් කරා එසවීමේ උපාය උපක්‍රම තෝරද්දි දැක්වූ සමත්කම් අපගේ අවධානයට ගත යුතුයි.

මේ වනවිට මැතිවරණ කල් දමමින්, ජනතාව මත බර පටවමින් නවලිබරල්වාදී ආර්ථික ප්‍රහාරයක්, දේශපාලන අයිතිවාසිකම් මර්දනය කිරීමක් පවත්වාගෙන යද්දි අපට ඉල්මහ විරුවන්ගේ පාඩම අපට වැදගත් වෙනවා. රනිල්ගෙ සහ පොදුජන පෙරමුණේ කල්ලියේ පාලනය පරාජය කරන්න ඕන. ඉන්දියාව, මුල්‍ය අරමුදල ඇතුළු අධිරාජ්‍යවාදී බලයන් ගෙන එන මේ සැලසුම් පරාජය කරන්න ඕන. 

මේ පාලනය ගෙන යන උපක්‍රම ගැන කිසිදු වටහා ගැනීමක් නැතිව අවස්ථාවාදයට ගිය පක්ෂ සමග ජනතාවගේ ජයග්‍රහණ දිනාගන්න හැකියාවක් නෑ. පලාත්පාලන මැතිවරණයට සූදානම් වෙලා මැතිවරණය අනිවාර්යයෙන් තියෙනවා කියපු ජාතික ජනබලවේගයේ අනුරලා රනිල් මැතිවරණ පවත්වන්නෙ නැති තත්වයක් තුළ ජනාධිපතිවරණයක පාරෙ යමින් ඉන්නවා. දැන් රනිල් කියන්න යන්නෙ මැතිවැණ ක්‍රමය සංශෝධනය කරන්න ඕන කියලා මැතිවරණවලට කල්ගන්න පාරක්. රනිල්ට විධායක අගමැති වෙන්න හැකි විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා සංශෝධනයකට යන කතාවක්. දේශපාලනයේ බලය ජනතාව වටා සංවිධානය කරන එකට වඩා පක්ෂයට පාර්ලිමේන්තු ආසන කීපයක් වැඩි කරගන් හිතාගෙන කරන දේශපාලනයෙදි මේ උගුලට හසුවීම වළක්වන්න බෑ.  

ඒ නිසා මේ තත්වයන් නිවැරදිව වටහා ගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. මේ රනිල් රාජපක්ෂ පාලනය පරාජය කරමින් ජනතා ජයග්‍රහණ ඉදිරියට ගැනීමේ දේශාලනයට වැඩකරන ජනතාව සංවිධානය කරමු. කෑලිවලට කැඩී ගිය වෘත්තිය සමිති සිය ගණනකට බෙදුණු සේවකයන් තනි කම්කරු මධ්‍යස්ථානයක සටන්කාමී බලයක් තුළට කැඳවමු. සියලු වැඩකරන ජනතාව දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් පෙළ ගස්වමු. බදුබර හැමදාම තියෙද්දි ඇයි ඊට එරෙහි අරගලයක් කරන්න බැරි? ප්‍රජාතන්තවාදය උල්ලංඝනය කිරීම දිගින් දිගටම කරද්දි ඇයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල ඉදිරියට ගෙන යන්න බැරි? අපේ ආදරණීය ගුරුවරයා ලෙනින් සහෝදරයා කියන්නෙ දේශපාලන ක්‍රියාකාරිත්වය සංවිධානයක් නැතිව ඉදිරියට ගෙන යන්න බෑ. දේශපාලනයයි සංවිධාන ක්‍රියාකාරිත්වයයි එකට ගෙන යායුතුයි. ඒ වෙනුවෙන් අපි පක්ෂය වගේම ජනතා බලය සංවිධානය කිරීමේ පෙරමුණු ශක්තිමත් කළ යුතුයි. 

ඒ වෙනුවෙන් ශක්තිමත්ව පෙළගැසෙමු. ධෛර්යමත්ව ජනතාව සමග වැඩ කරමු. ජනතාව දේශපාලනය වෙත කැඳවමු. ඔවුන් සමග අරගලකාරී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගමු. විප්ලවීය බහුජන ව්‍යාපාරයක් ගොඩ නගමු. මේ වනවිට අපි කුඩා පක්ෂයක් බව ඇත්ත. නමුත් අපි මේ රටේ බහුතර පීඩිත ජනතාවගේ පක්ෂය බවට පත් වෙනවා. ඒ නිසා පහුගිය කාලෙ අපේ පක්ෂයේ තොරතුරු හොයන්න, අපේ දුරකතනවලට සවන් දුන් අපේ පක්ෂය තහනම් කරන්න සැලසුම් සොයා බැලු හැමදෙනාටම අපි කියනවා. අපි බ්ලැන්කිවාදින් නෙවෙයි. ඒ නිසා, සුලු පිරිසක් ලෙස සංවිධානය වෙලා දේශපාලන බලය කුමන්ත්‍රණකාරී ලෙස පැහැර ගන්න අපි කොහෙත්ම සූදානම් නෑ. ඒ නිසා අපි ඔහෙලට දැනට කරදර කරන්නෙ නෑ. නමුත් ඔවුන් දැනගත යුතුයි, අපි නිසැකවම මේ රටේ පීඩිත ජනතාව දේශපාලනයට ගෙන එනවා, ඔවුන්ගේ බලයක් ගොඩනැගීමට වැඩ කරනවා. ඒ නිසා අපි පලකයන්ට කියනවා, අපි ජනතාවගේ බලය සංවිධානාත්මකව ගොඩ නගමින් මේ රටේ බලය ලබාගත් වහාම අපි නුඹලා මේ විනාශකාරී බලයෙන් පහළට ඇද දමනවා. ඒ ගැන සැකයක් නොතිබිය යුතු බව අපි අවධාරනය කරනවා.”

Vidhura

Read Previous

“ටිරාන් අලස් දැන් උත්තර දිය යුතුයි – දුමින්ද නාගමුව

Read Next

“ගොල්ෆේස් අරගලයේදී රාජ්‍යයට අභියෝග කරන්න මග කිව්වේ ඉල්මහ විරුවන් – ලහිරු වීරසේකර

Leave a Reply

Your email address will not be published.

Most Popular